Thursday, August 21, 2014

ආදරයේ ප්‍රීති උත්සවය...

         ආදරයේ ප්‍රිති උත්සවය ගැන කතා කරන්න කළින් ආදරය කියන එකට නිර්වචනයක් දීලා ඉමු. ආදරය කියන එක කෑමක රහක් වගේ. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. රහයි කියලා පිළිගන්න රහ කෑම තියෙනවා. කටේ තියන්න බැරි කෑම තියෙනවා. නීරස කෑම තියෙනවා. ආදරයත් ඒ වගේ. සමහර අය හොඳට රස බල බල ආ‍දරේ කරනවා. සමහර අයෙක් විකෘති ආදරයකින් ඉන්නවා. තවත් අයෙක් නොසොයා නොබලා නීරස ආදරයක ජීවිතේ ගෙවනවා. පවුලේ අයට, යහළු යෙහෙළියෝ අතර වගේම ආදරවන්තයෝ අතරත් දකින්න පුළුවන් මේ වගේ ආදර විලාසිතා.
කෑමක් රස ගුණ බලන්නෙ තනියමනෙ. ආදරය කරන්න තනියම බෑ. ආදරය දෙන්නෙක් අතර බෙදා ගන්න කොට තමයි රස ගුණ දැනෙන්නෙ. ගන්න හා දෙන්න දෙකේම සමබර සංකලනයක්.
කෑමක රහක් තව කෙනෙකුට මෙහෙමයි කියල කියල වැඩක් නෑ. කාලම බලන්න ඕනෑ. ආදරයත් ඒ වගේ. ආදරය කරලම දැන ගන්න ඕනා.
Hold on to love

ආදරයේ ප්‍රීති උත්සවය නම් ආදරය කරන දෙදෙනා ලිංගිකව එකතුවීමයි. පුද්ගලයාගේ රොමැන්තික ලිංගික ප්‍රතිචාරයේ අතිශය වැදගත් කරුණු දෙකක්. එක, තමන් තෝරා ගන්නා සහායකයාය. අනික, ලිංගික ක්‍රියාවෙන් තමන් ලබා ගන්නා අරුතයි.
තමන් වැදගත් අයෙක් යයි සිතන, ජීවිතයටත් තමන්ටත් ආදරය කරන පුද්ගලයෙක් ආදරය සඳහා සොයන්නේ තමන්ට ගරු කළ හැකි, ආඩම්බර විය හැකි, තමන්ගේ බුද්ධිමත් මට්ටමේ ඉන්නා, තමන් හා සම අගැයුම් වලින් යුතු සහායකයාය.
බුද්ධිමත්, ආත්ම විශ්වාසයකින් යුත්, පෞරුෂයෙන් යුත් කාන්තාවක් සොයා යන පිරිමියා සොයන්නේ තමන්ට අගය කළ හැකි සහකාරියකි. කිසි දෙයක් කර කියා ගත නොහැකි කාන්තාවක් සොයා යන පිරිමියා සොයන්නේ අගය කළ හැකි කෙනෙක් ද නැතහොත් ඒ අය මතින් තම පුරුෂත්වය හුවා දක්වත හැකි කෙනෙක් ද? මෙයම කාන්තාවන් විසින් සොයනා පුරුෂයන්ට ද යොදා ගත හැකිය.
කෙනෙක් ලිංගික එක් වීමකින් සොයන්නේ එකිනෙකා ගැන ඇති ආඩම්බරය හා අගැයුම නිසා දෙදෙනා අතර රස වින්දනයක් ද? නැතහොත් පුරුෂත්වය හෝ කාන්තාභාවය ඔප්පු කර ගැනීමක් ද, ජීවිතයේ අනෙක් සුන් වූ බලාපොරොත්තු සමනය කර ගැනීමක් ද, සංකාව හෝ ආතතිය නැති කර ගැනීමේ මාර්ගයක් ද, නැතහොත් වෙන කරන්න දෙයක් නැති නිසා කරන්නක් ද?
තමන් ගරු නොකරන අයෙක් හා එක්වන කෙනෙක් කැමත්ත නැති කෑමක් කන්න වෙච්ච අයෙක් වගේ. කාලා ඉවර වුනාම කටේ අපුල රහක්.
ඒ වගේම හොරෙන් කන දෙයක් එළිපිට ආශීර්වාද මැද්දෙ කන දේ තරම් රහ දැනෙනවා ද?
ලිංගික එක්වීමට කලින් එනම් ආදරයේ ප්‍රිති උත්සවයට කලින් තමන් සොයන සහකාරිය/සහකරුවා ගැන අවබෝධයත් ලිංගික එක්වීමෙන් තමන් සොයන්නේ කුමක් ද කියාත් විචාරයක යෙදීම තමන්ගේම ඇස් පාදා ගන්නකි.
ලිංගික එක්වීමක් යනු සම්පූර්ණයෙන්ම දෙදෙනෙක් එකිනෙකාට යටත්වීමකි. එවිට පීඩකයෙක් හෝ පීඩිතයෙක් ද නැත. මනසෙන් මෙන්ම ශරීරයෙන් ද දෙදෙනෙක් ආදරයේ නාමයෙන් ප්‍රීති උත්සව පවත්වන්නේ එලෙසිනි.
මේ සේරම මගේ අදහස් පමණක් නෙමේ. දාර්ශනික හා මනෝවිද්‍යාඥ මත මේ අදහස් කියා තිබුණත් ඒ මූලාශ්‍ර සොයන්නට නොගියෙමි.සුපර්බෝල් බලන්න ආ දා කතාබහ ඇසුරින්. වැලන්ටයින් ගැන සටහන් යන නිසා අද ලියන්න හිතුනෙ. ඉතින් ලිංගික ක්‍රියාවේ යෙදෙන්න කියලා කාටවත් උපදෙස් දෙනවා කියලා වැරදියට බාර ගන්නත් එපා.

No comments:

Post a Comment